දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 36ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 52කට අධික සංඛ්‍යාවක් මේ වන විට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද පෙරවරු 9.00 වන විට පවතින තත්ත්වය පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් වාරිමාර්ග ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේය.
දිස්ත්‍රික්ක මට්ටමින් ජලාශවල තත්ත්වය විමසා බැලීමේදී, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් 9ක්ම වාන් දමන අතර මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්කවල සියලුම ප්‍රධාන ජලාශ මේ වන විට වාන් මට්ටමට පැමිණ තිබේ. මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 3ක්, බදුල්ලේ ජලාශ 4ක්, මඩකලපුවේ ජලාශ 2ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජලාශ 4ක් ද වාන් දමන බව වාර්තා වේ.
කුරුණෑගල, මොනරාගල, පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ද ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති අතර වව්නියාව දිස්ත්‍රික්කයේ එක් ජලාශයක් ද මෙලෙස වාන් දමමින් පවතී. වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ දැනට වාන් දොරටු මඟින් නිකුත් කෙරෙන ජල ප්‍රමාණය අවම මට්ටමක පැවතියද, ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය අනුව එම ප්‍රමාණයන් ඉහළ යා හැකි බවයි.
පවතින මෙම තත්ත්වය හමුවේ අදාළ ජලාශවල පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව ඉතා අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. ජලය නිකුත් කිරීමේදී නිකුත් කෙරෙන නිල නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර අවදානම පිළිබඳව කල්තියා සූදානම් වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.