රජය විසින් මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ආරම්භ කර තිබියදී සමාගම් හයකට ගංජා වගා කිරීම සඳහා අක්කර 66ක් ලබා දී ඇති බවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ චෝදනා කරති.
මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මැඩලීම අතිශයින්ම වැදගත් වන බවත් එය රටේ අනාගත දියුණුවට ඵලදායී ලෙස බලපානු ඇති බවත් උන්වහන්සේ පැවසූහ. එසේ තිබියදී, “අපනයනය සඳහා යැයි කියමින් ගංජා වගා කිරීමට සමාගම් හයකට ඉඩම් ලබා දී ඇති බවත්, ඒ හරහා මෙම නව වැඩපිළිවෙල ‘හෝද හෝදා මඩේ දැමීමක්’ වන බවත්” උන්වහන්සේ කියා සිටියහ.
ගංජා වැවීමට අවසර දීම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව අවධාරණය කළ ඕමල්පේ සෝභිත හිමියෝ, මෙම ව්‍යාපෘති වහාම නවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පැවසූහ.
උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ, 1929 අංක 17 දරණ විෂ අභිං පනත තවමත් ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව ගංජා වැවීම, ළඟ තබාගැනීම, අපනයනය, ආනයනය සහ විකිණීම සපුරා තහනම් බවත්ය.
“ගංජා වැවීමට අවසර දුන්නා නම් ඒ තීරණය ගත්ත සක්‍යතා අධ්‍යයන වාර්තාව කොහිද? අපනයනය කරන්නේ මොන රටවල් වලට ද? යම් විදියකින් ඒ රටවල් ගංජා මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළොත්, ඒවා රට තුළට නොඑන්න තියෙන වැඩපිළිවෙළක් තියෙනවා ද?” වැනි ප්‍රශ්න පිළිබඳව රටම බලා සිටින බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන ලෙසත්, රටට නොගැලපෙන තීරණ ගැනීම රජයේ පැවැත්මට ද බාධා විය හැකි බවත් උන්වහන්සේ අවධාරණය කළහ.