චීන විදේශ කටයුතු අමාත්‍ය වන්ග් යී මහතා ඇතුළු 17 දෙනෙකුගෙන් සමන්විත විශේෂ චීන දූත පිරිසක් අද (12) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවැති නිල සංචාරයකින් අනතුරුව යළි චීනය බලා යන අතරවාරයේදී අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙලෙස කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං මහතා ඇතුළු තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. එසේම ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් එහි නැගෙනහිර ආසියාව සහ ඕෂනියාව භාර අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කේ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.
දිවයිනේ කෙටි කාලයක් රැඳී සිටින චීන විදේශ කටයුතු අමාත්‍ය වන්ග් යී මහතා ඇතුළු පිරිස අද දහවල් කාලයේදී කටුනායක ගුවන්තොටුපොළෙන් යළි චීනය බලා පිටත්ව යාමට නියමිතව ඇත.