සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයකට සම්බන්ධ, අවශ්‍යකර සිටි සැකකරුවෙකු වන ශ්‍රීධරන් නිරන්ජන් නොහොත් ‘ටින්කර්’ අද (ඔක්තෝබර් 01) උදෑසන ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.
අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් සැකකරු පෑලියගොඩ පොලිසියට භාර දෙන ලදී.
වයස අවුරුදු 36ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ‘ටින්කර්’, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොච්චිකඩේ ශිරාන්’ නොහොත් පලනි ශිරාන් ග්ලෝරියන්ගේ ප්‍රධාන අනුගාමිකයෙකු ලෙස පොලිසිය හඳුනාගෙන ඇත.
ඔහු සම්බන්ධ බවට තහවුරු වී ඇති ප්‍රධාන අපරාධ කිහිපයක් මෙසේය:
2024.10.16 දින ග්‍රෑන්ඩ්පාස් ඝාතනය: මහවත්ත පොදු සුසාන භූමිය අසලදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සඳහා පැමිණි කාර් රථයේ රියදුරු ලෙස කටයුතු කිරීම.
2025.08.19 දින පෑලියගොඩ වෙඩි තැබීම: පෑලියගොඩදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධය සඳහා අවශ්‍ය ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටීම.
මෙම සැකකරුට එරෙහිව දැනටමත් විදෙස් ගමන් තහනමක් පනවා ඇති අතර, ඔහු 2025 අගෝස්තු 19 වැනි දින විදෙස් ගතවී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ අංක 05 ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.