පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමඟ ශ්‍රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ඇහැළ කණුව ප්‍රදේශයේ කඩා වැටී තිබූ පස් කන්දක් කපා ඉවත් කිරීමේ කටයුතු හැටන් පොලීසියේ නිලධාරීන් විසින් අද (දෙසැම්බර් 01) දින සිදු කරන ලදී.
ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් සහ හැටන් කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය. හැටන් පොලිස් නිලධාරීන් 30 දෙනෙකු, යුද හමුදා භට පිරිස් සහ සිවිල් වැසියන් කිහිප දෙනෙකු එක්ව පස් කන්ද කඩා වැටීමෙන් අවහිර වී තිබූ ශ්‍රී පාද පඩිපෙළ මාර්ගය පිරිසිදු කරනු ලැබූහ.
පැවති අයහපත් කාලගුණයත් සමඟ නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩ මළුව දක්වාම කඩා වැටී තිබූ ගස් සහ අතු කපා ඉවත් කිරීමට ද මෙම පිරිස කටයුතු කළේය. පස් කන්ද කඩා වැටීමෙන් විදුලි රැහැන් පද්ධතියට සිදු වූ අලාභ හානි පිළිසකර කිරීමට විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ද පියවර ගෙන තිබේ.
ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් ප්‍රකාශ කළේ, මහගිරිදඹ ප්‍රදේශයේ පරිසරයට මුදා හැර තිබූ අපද්‍රව්‍ය සමඟ ශ්‍රී පාද පද්මයට පහළින් වූ ශාක කොටස් පහළට කඩා වැටී ඇති බවත්, මෙය නාය යෑමක් නොව සෑම වර්ෂා කාලයකදීම ස්වභාවිකව සිදු වන දෙයක් බවත්ය. එම පස් කන්ද කඩා වැටීමෙන් ශ්‍රී පාද මළුවට හෝ ශ්‍රී පාද මාර්ගයට කිසිදු හානියක් සිදු වී නොමැති බව ද නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.