විවිධ චෝදනාවලට ලක්ව වැඩ තහනමට ලක්ව සිටින විනිසුරුවරුන්ට ඔවුන්ගේ සේවා අත්හිටුවා ඇති කාලය තුළ අඩ වැටුප් පමණක් ගෙවීමට සහ සාමාන්‍යයෙන් හිමිවන දීමනා රැසක් අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) තීරණය කර ඇත.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් සියලු මහාධිකරණ විනිශ්චයකාරවරුන් වෙත නිකුත් කර ඇති බව වාර්තා වේ.
විවිධ චෝදනාවලට මුහුණ දෙන විනිසුරුවරුන් කිහිප දෙනෙකු පසුගියදා කොමිෂන් සභාව විසින් වැඩ තහනමට ලක් කරන ලද අතර, ඒ අනුව ඔවුන්ට අත්හිටුවීමේ කාලය තුළ අඩ වැටුප් පමණක් හිමිවන බවට තීරණය විය.
එම අඩ වැටුප් සමඟ ගෙවිය යුතු දීමනා සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමකදී සාකච්ඡා කර තීරණ ගෙන තිබේ.
එහිදී කමිටුව තීරණය කළේ අත්හිටවූ විනිසුරුවරුන් සඳහා පහත සඳහන් දීමනා පමණක් ලබාදිය යුතු බවයි:
- වෘත්තීය දීමනාව (Professional allowance)
- පුද්ගලික දීමනාව (Personal allowance)
- ජීවන වියදම් දීමනාව (Cost of living allowance)
- භාෂා ප්‍රවීණතා දීමනාව (Language proficiency allowance)
තවද, පහත සඳහන් දීමනා ගෙවීම අත්හිටුවීමට කමිටුව තීරණය කළේය:
- දුරකථන දීමනාව (Telephone allowance)
- වාහන දීමනාව (Vehicle allowance)
- රියැදුරු දීමනාව (Driver’s allowance)
- පොත් දීමනාව (Book allowance)
- නිවාස/කුලී දීමනාව (Housing/rent allowance)
- අභියාචනා දීමනාව (Appeal allowance)
- ඉන්ධන දීමනාව (Fuel allowance)
මෙම තීරණ මත, අත්හිටවූ විනිසුරුවරුන්ගේ අඩ වැටුප් සමඟ ගෙවිය යුතු නිශ්චිත දීමනා මොනවාද යන්න දක්වමින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් චක්‍රලේඛය නිකුත් කර ඇත.