වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස තමන් කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) ප්‍රකාශ කළේය. වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් අමෙරිකානු හමුදා භාරයට ගැනීමත් සමඟ හටගෙන ඇති දැඩි ජාත්‍යන්තර අර්බුදය මධ්‍යයේ ට්‍රම්ප් විසින් මෙම මතභේදාත්මක ප්‍රකාශය සිදු කර තිබේ. තම ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විකිපීඩියා (Wikipedia) වෙබ් අඩවියේ සකස් කරන ලද ඡායාරූපයක් පළ කරමින් ඔහු මේ බව තහවුරු කර ඇත.
මෙම අසාමාන්‍ය තත්ත්වය උද්ගත වූයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු නියෝගයකට අනුව පසුගිය 03 වැනිදා අලුයම වෙනිසියුලාවේ කරාකස් අගනුවර වෙත අමෙරිකානු හමුදාව එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවත් සමඟය. කරාකස් නුවර පිහිටි ප්‍රධාන හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් අනතුරුව, වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු විශේෂ බලකායන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන් මගින් අමෙරිකාව වෙත රැගෙන යනු ලැබීය.
ලෝක දේශපාලනයේ දැඩි කම්පනයක් ඇති කළ මෙම සිදුවීමෙන් පසු වෙනිසියුලාවේ පාලන බලය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාවය හමුවේ, තමන් වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පෙනී සිටින බව ට්‍රම්ප් පවසා සිටියි. මෙම ප්‍රකාශයත් සමඟ දකුණු ඇමෙරිකානු කලාපය තුළ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව තුළ ද දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, අමෙරිකාවේ මෙම මැදිහත්වීම සම්බන්ධයෙන් විවිධ රටවල් සිය විරෝධය පළ කරමින් සිටී.