පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් සිදුකළ වියදම් ඇතුළත් ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රදර්ශනය කර තිබේ.
ඒ අනුව 2024 ජනාධිපතිවරණයේ වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස වන අතර එම මුදල රුපියල් කෝටි 112කට අධිකය.
එහිදී ඔහු රුපියල් 936,258,524.60ක මුදලක් අපේක්ෂකයා ලෙස වැය කර ඇති අතර සමගි ජන බලවේගය ඔහු වෙනුවෙන් රුපියල් 194,087,715.04ක් වියදම් කර තිබේ.
දෙවෙනියට වැඩිම වියදමක් දැරූ අපේක්ෂකයා වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු වූ රනිල් වික්‍රමසිංහ ය.
ඔහු වියදම් කර ඇති මුදල රුපියල් 990,327,687.16ක් වන අතර ස්වාධීන අපේක්ෂකයින් අතරින් වැඩිම වියදමක් සිදුකළ අපේක්ෂකයා ද ඔහු වෙයි.
මෙවර ජනාධිපතිවරණය ජයගත් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක කිසිඳු පෞද්ගලික වියදමක් දරා නොමැති බව ඔහු මැතිවරණ කොමිසමට එවූ වාර්තාවේ දැක්වෙයි.
කෙසේවෙතත් ඔහු ඉදිරිපත් වූ පක්ෂය වන ජාතික ජනබලවේගය විසින් රුපියල් 527,999,889.38ක මුදලක් මැතිවරණ වැඩකටයුතු සඳහා වැය කර තිබේ.
මෙවර ජනාධිපතිවරණයේදී සිව්වැනි ස්ථානය හිමිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ඔහුගේ පෞද්ගලික මුදලින් කිසිඳු වියදමක් දරා නොමැත.
ඔහු වෙනුවෙන් පක්ෂය වියදම් කර ඇති මුදල රුපියල් 388,939,085.00ක්.
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ඉදිරිපත් වූ ව්‍යවසායක දිලිත් ජයවීර සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් 324,643,246.05ක මුදලක් වියදම් කර තිබේ.
එම මුදල් ව්‍යවසායක දිලිත් ජයවීර පෞද්ගලිකවම දරා ඇති අතර ඔහු වෙනුවෙන් පක්ෂය කිසිඳු වියදමක් දරා නොමැත.
2024 ජනාධිපතිවරණයේදී එක් එක් අපේක්ෂකයින් වියදම් කළ මුදල් සම්බන්ධයෙන් මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනත ප්‍රකාරව සියලු කරුණු ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබුණි.
ඒ අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරුනේ එක් අපේක්ෂකයෙකුට එක් ඡන්දහිමියකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 109ක උපරිමයක් ලෙසය.
එමගින් එක් අපේක්ෂකයෙකුට සියලුම ඡන්ද දායකයින් වෙනුවෙන් රුපියල් 1,868,298,586ක මුදලක් වියදම් කිරීමට අවසර හිමිවුණි.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් 38 දෙනෙකු අතරින් එම වියදම් වාර්තා ඉදිරිපත් කර තිබුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් 35 දෙනෙකු පමණි.
ඒ අනුව අපේක්ෂකයන් සහ පක්ෂ සිය ආදායම් සහ වියදම් පිළිබඳ වාර්තා මේ වනවිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ සහ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කෙරෙයි.