දැනට ක්‍රියාකාරී නොවන රාජ්‍ය ව්‍යවසායන් 33 ක් අදියර දෙකක යටතේ විධිමත් ලෙස ඈවර කර වසා දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුකූලව මෙම තීරණය ගෙන ඇති අතර, අදාළ ක්‍රියාවලිය අමාත්‍යාංශය යටතේ පිහිටුවන විශේෂ ඈවර කිරීමේ ඒකකය මගින් නියෝජනය කරනු ඇත.
කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, මහජන සේවා සැපයීම හා ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවා තිබූ මෙම ආයතන අද වන විට එම අරමුණු හා වෙළෙඳපොළ අවශ්‍යතා සමග ගැළපී නොමැති බවයි. මූල්‍ය කාර්යසාධන දුර්වලතාව නිසාද ඒවා තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවීමෙන් රජයට වැය බරක් වී ඇති බවද ඔහු අවධාරණය කළේය.
ඉදිරියේදී වසා දැමීමට නියමිත ආයතන අතර ඒෂියන් ගේම්ස් පුද්ගලික සමාගම, තුරුසවිය අරමුදල, සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස්, ලංකා ලොජිස්ටික්ස්, කොමන්වෙල්ත් ගේම්ස් හම්බන්තොට, මාගම්පුර පෝර්ට්ස් මැනේජ්මන්ට්, මිහින් ලංකා, ටෙක්නො පාර්ක් ඩිවලොප්මන්ට්, මාධ්‍ය පුහුණු ආයතනය, ලංකා සිමෙන්ති සමාගම සහ එක්ස්ප්‍රස්වේ ට්‍රාන්ස්පෝර්ට් ආයතනද ඇතුළත් වන බව ඔහු සඳහන් කළේය.
ඉහත ආයතන සම්පූර්ණ ලැයිස්තුව සම්බන්ධ අමාත්‍යාංශය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇත.
එසේම, ශ්‍රීලන්කන් ගුවන් සේවය අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා රජය විශේෂ මැදිහත්වීමක් සිදු කරන බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.