සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක නම් පුද්ගලයා තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කර තිබූ මොහු එරට ගුවන්තොටුපළේදී තායිලන්ත ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ I4 travels ආයතනයට එරෙහිව කැනඩා සිහින පෙන්වා මුදල් ලබාගෙන වංචාවන් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබූ අතර, මෙම චෝදනා මත උසාවි ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු ඔහුට එරෙහිව රතු වරෙන්තු නිකුත් කර තිබූ බව වාර්තා විය.
අත්අඩංගුවට පත්ව ජීප් රථයක ගමන් කරමින් සිටියදී ඔහු වීඩියෝවක් සජීවීව නිකුත් කර තිබෙන අතර, එමගින් ඔහු ප්‍රකාශ කරන්නේ තමන් දේශපාලන හේතු මත අත්අඩංගුවට පත් වූ බවක් පමණි.
47 හැවිරිදි සාලිය ටී. රණවක, 2008 වසරේ යුද්ධයේ අවසන් අදියරේදී ලුතිනල්වරයෙකු ලෙස යුද බිමට පිවිස වසර 12ක සේවා කාලය නිමා කරන විට බුද්ධි අංශයේ කපිතාන්වරයෙකු ලෙස කටයුතු කර තිබුණි. ඊලාම් යුද්ධයේ බුද්ධි නිලධාරියෙකු ලෙස ලද අත්දැකීම් පාදක කරගනිමින් ඔහු “සිංහලේ යනු” නමින් ග්‍රන්ථයක් ද එළිදැක්වීය.
මීට අමතරව, ඔහු ‘සිංහලේ’ නමැති සංවිධානයේ පෙර ක්‍රියාකාරිකයෙකු ලෙස ද කටයුතු කරමින් වහබ්වාදය පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සහ කූරගල, දෙවනගල, මුහුදුමහා විහාරය වැනි ස්ථානවල විරෝධතා වැඩසටහන් දියත් කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.
ඔහු වහබ්වාදීන් ගැන සොයන්නට ගොස් මින් ඉහත කටාර් රාජ්‍යයයේදී අත්අඩංගුවට පත් වූ නමුත්, එවකට රාජපක්ෂ රජයේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම මත දින 3ක් ඇතුළත නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ඔහුට හැකි විය.
මේ වනවිට රටින් පිට ජීවත්වන ඔහු ඇමරිකානු පුරවැසියෙකු ලෙස සිටින අතර, මෑතකදී කැනඩාවට රැකියා අවස්ථා ලබාදෙන්නෙකු ලෙස ප්‍රකට විය.