සුළි කුණාටුව හමුවේ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අතිශය අයහපත් තත්ත්වය හේතුවෙන් ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
ඒ අනුව එළඹෙන බදාදා (දෙසැම්බර් 03) දින කොළඹ මල්පාරේ පිහිටි දේශපාලන කාර්යාලයට සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසුවේ, දරුණු ස්වභාවික විපතකදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණ දී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී ගත යුතු පියවර මෙම පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන බවයි.
2003 සහ 2016 වසරවල ඇතිවූ ගංවතුර ව්‍යසනයේදී සහ පශ්චාත් ගංවතුර සමයේදී ගනු ලැබූ පියවර පිළිබඳව මෙම හමුවේදී පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අපේක්ෂිත බව ද වජිර අබේවර්ධන කියා සිටියේය. මෙම දරුණු ව්‍යසනයෙන් පසුව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සියලුම දේශපාලන පක්ෂ නායකයන් එක් තැනකට කැඳවන්නේ ප්‍රථම අවස්ථාවට බවද ඔහු සඳහන් කළේය.