රිය අනතුරකට ලක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
කෙසේ වෙතත්, අනතුරට සම්බන්ධ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ වාහනයේ පරීක්ෂණ වාර්තාව පමණක් පොලීසිය වෙත ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එම වාහන පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත්තේ, මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග නිසි නඩත්තුවක් සිදුකර නොමැති බවට සහ තිරිංග පද්ධතියේ ගැටලුවක් ඇති බවටය.
වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර තීරණය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. මේ වන විට අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ රුධිර සාම්පල, පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ අශෝක රන්වල මන්ත්‍රීවරයා ධාවනය කළ ජිප් රථය තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුවු අතර, එම අනතුරින් මන්ත්‍රීවරයා සහ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබීය. අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගත් නමුත්, මහෙස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කළේය.