නොවැම්බර් මාසයේ දින තුනක් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බව කථානායකවරයා අද (ඔක්තෝබර් 23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ අනුව නොවැම්බර් මස 4, 6 සහ 7 යන තෙදින තුළ මෙම පරීක්ෂාව සිදුකිරීමට නියමිතය. මෙහිදී මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බව කථානායකවරයා දැන්වීය.
මේ අතර නොවැම්බර් මස 7 වන සිකුරාදා දිනයේ දී පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාප ද ආරක්ෂක පරීක්ෂාවට ලක්කෙරේ. එදිනට මහජන ගැලරිය ආරාධිතයින් සඳහා පමණක් සීමා කරන බව ද කථානායකවරයා මෙහිදී පැවසීය.
අමුත්තන් සඳහා වන ආරාධනා පත්‍ර මුදල් අමාත්‍යාංශය වෙතින් නිකුත් කරනු ලබන අතර, විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක සිකුරාදා දිනයේ දී පාර්ලිමේන්තුවට පැමිණීමේ දී රියදුරෙකු සමග පැමිණෙන ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දෙනු ලැබීය.
එදිනට පාර්ලිමේන්තු රථගාල වසා දැමෙන බැවින් මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන වෙනත් රථගාල් වෙත යොමුකරනු ලබන බව ද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. එදිනට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.