පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් කඳු සහ නාය ගොස් ඇති ස්ථාන යථාතත්ත්වයට පත් කිරීමට තවමත් නොහැකි වී ඇති බව වාර්තා වේ. එම ප්‍රදේශවලට තවමත් දැඩි වර්ෂාවක් ඇද හැලෙන බැවින් පිළිසකර කිරීමේ කටයුතුවලට බාධා මතුව ඇති බව පැවසේ.
අයහපත් කාලගුණය සහ අධික වර්ෂාවත් සමඟ පසුගිය 19 වනදා ප්‍රධාන දුම්රිය මාර්ගයට පස්කඳු කඩා වැටීම හේතුවෙන් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමක් සිදුව තිබුණි. එම හේතුවෙන් මහනුවර සහ මාතලේ සිට කොළඹ කොටුව සහ මාතර දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර සියල්ල අවලංගු කිරීමට කටයුතු කළේය.
මේ අතර, අද (ඔක්තෝබර් 21) දිනට ද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ.
- පස්වරු 2.00ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ. ඒ හේතුවෙන් පස්වරු 4.10ට මීරිගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවන බව කොළඹ කොටුව දුම්රිය ස්ථානය දැනුම් දෙයි.
- එමෙන්ම, පස්වරු 1.25ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවන අතර, ඒ හේතුවෙන් පස්වරු 4.20ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවන බව කොළඹ කොටුව දුම්රිය ස්ථානය දැනුම් දී ඇත.