රිය අනතුරකින් මිය ගිය තරුණයෙකුගේ සිරුරක් තලවකැලේ නගර මධ්‍යයේ තබා ගෙන, අනතුර සිදු කළ ඇප මත මුදා හැර සිටින රියදුරුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මියගිය තරුණයාගේ ඥාතීන් සහ හිතවතුන් එක්ව ඊයේ (නොවැම්බර් 01) රාත්‍රියේ උද්ඝෝෂණයක් පවත්වා තිබේ.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් රාත්‍රී 7:30 සිට 8:00 දක්වා තලවකැලේ නගරය හරහා ගමනාගමන කටයුතු ඇන හිට තිබුණි.
මියගොස් ඇත්තේ තලවකැලේ සෙන් ඇන්ඩෘස් වත්තේ පදිංචිව සිටි 28 හැවිරිදි සෙල්වකුමාර් සෙවනායගම් පුෂ්පකුමාර නැමැති තරුණයෙකි. ඔහු පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කර ඇත.
ඉකුත් ඔක්තෝබර් 20 වන දින දීපාවලී උදාවත් සමඟ තලවකැලේ නගර මධ්‍යයේ මියගිය තරුණයා සහ ඔහුගේ හිතවතෙකු රතිඤ්ඤා දල්වමින් සිටියදී, තලවකැලේ ග්‍රෙඩ් වෙස්ටන් සිට තලවකැලේ නගරය දක්වා පැමිණි බොලෙරෝ ලොරි රථයකට යට වීමෙන් ඔවුන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇත.
මෙම අනතුර සිදු කළ බොලෙරෝ රථයේ රියදුරුව සැකපිට තලවකැලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහු දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබුණි.
තලවකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා උද්ඝෝෂකයන් හමුවේ කියා සිටියේ, ඇප මත මුදා හැර ඇති සැකකාර රියදුරුව යළිත් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
පොලිස් ස්ථානාධිපතිවරයා කළ එම ප්‍රකාශයත් සමඟ උද්ඝෝෂණය නතර කර රාත්‍රී 8:00 පමණ වන විට හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට ඉඩ ලබා දෙන ලදී.