ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ පිහිටි වැඩිහිටි නිවාසයක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (28) රාත්‍රී 8.30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, එම අවස්ථාවේදී නිවාසයේ රැඳී සිටි වැඩිහිටියන් බහුතරයක් සිය කාමර තුළ විවේකීව පසු වීම හේතුවෙන් හානිය ඉහළ ගොස් තිබේ.
ගින්නෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පමණ මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. සහන සේවා නිලධාරීන් පවසන්නේ මියගිය බොහෝ දෙනෙකුගේ මළ සිරුරු ඔවුන් විවේකීව සිටි කාමර තුළම තිබී සොයාගත් බවයි. ගින්න සීඝ්‍රයෙන් පැතිර යාම නිසා අසරණව සිටි වැඩිහිටියන්ට ආරක්ෂිත ස්ථාන කරා යාමට ප්‍රමාණවත් කාලයක් නොලැබෙන්නට ඇති බව විශ්වාස කෙරේ.
දූපත් 17,000 කින් සමන්විත ඉන්දුනීසියාවේ මාරාන්තික ගිනි ගැනීම් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇති අතර, මේ මාසය තුළම එරටින් වාර්තා වූ දෙවන මහා ගින්න මෙයයි. මීට පෙර අගනුවර වන ජකර්තාහි සත් මහල් කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
ආරක්ෂක විධිවිධාන පිළිබඳ පවතින දුර්වලතා මෙවැනි අනතුරුවලට ප්‍රධාන හේතුවක් වී ඇති බවට චෝදනා එල්ල වන අතර, මෙම වැඩිහිටි නිවාසයේ ගින්න හටගැනීමට බලපෑ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. බලධාරීන් මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය සඳහන් කරයි.