රුහුණු මහා කතරගම දේවාලයට පූජා කර තිබූ රුපියල් දහනව ලක්ෂ හැට දහසක (1,960,000) වටිනා රන්තැටියක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව, සාවද්‍ය පරිහරණය කර විශ්වාසය කඩ කිරීමේ චෝදනාව මත දේවාලයේ ප්‍රධාන කපු මහතාට සහ ගබඩා භාරකරුට එරෙහිව ඊයේ (දෙසැම්බර් 11) හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව ඉදිරියේ අධි චෝදනා භාරදීම සිදුකෙරුණි.
මෙලෙස අධි චෝදනා භාරදීම සිදුකෙරුණේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන සොමිපාල ටී. රත්නායක සහ කතරගම දේවාලයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ මුණසිංහ මාන්නප්පෙරුම සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා නමැති විත්තිකරුවන් දෙදෙනාටයි.
අධි චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත්ව සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව එක් එක් විත්තිකරුවන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙස නියෝග කෙරුණි.
අතුරුදන් වූ බව කියන මෙම රන්තැටිය 2019.07.03 වන දින කතරගම දේවාලයට පූජා කර තිබුණේ ඉන්දියාවේදී මරුමුවට පත් වූ බව කියන ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු වන අංගොඩ ලොක්කා නමැත්තාගේ බිරිඳ විසිනි. අංගොඩ ලොක්කාගේ දරුවාගේ අපලයක් සඳහා වූ භාරයක් ලෙස මෙම රන් තැටිය කතරගම දේවාලයට පූජා කර තිබේ.
එලෙස පූජා කර තිබූ මෙම රන් තැටිය කතරගම දේවාලයේ ගබඩාවේ තැන්පත් කර තිබියදී අතුරුදන්ව ඇති බවට එවකට කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ ඩිෂාන් ගුණසේකර වෙත නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ. ඒ අනුව බස්නායක නිලමේවරයා විසින් සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ අදාළ රන් තැටිය අතුරුදන් වී ඇති බවයි. බස්නායක නිලමේවරයා විසින් එවකට පොලිස්පතිව කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නට සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබුණි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ, අංගොඩ ලොක්කා නමැත්තාගේ ගෝලයන් විසින් ලබාදුන් රත්තරන් යොදාගෙන කතරගම ප්‍රදේශයේ රන්කරුවකු විසින් මෙම රන් තැටිය සකස් කර ඇති බවය. රන් තැටිය අතුරුදන්ව ඇති බවට බස්නායක නිලමේවරයා දැන ගැනීමෙන් පසු කපු මහතුන්ගෙන් විමසීමේදී ප්‍රධාන කපු මහතා පවසා ඇත්තේ අදාළ රන් තැටිය පූජා කළ අය විසින්ම යළි රැගෙන ගිය බවය. නමුත්, අංගොඩ ලොක්කාගේ බිරිය ප්‍රකාශ කර ඇත්තේ පූජා කිරීමෙන් අනතුරුව යළි එම රන් තැටිය රැගෙන නොආ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වීමත් සමග ප්‍රධාන කපු මහතා විසින් ව්‍යාජ රන්තැටියක් ද සකස්කර දේවාලයේ ගබඩාවේ තැන්පත් කර තිබේ. පූජා කරන ලද රන්තැටියේ ඡායාරූපයක් තිබීම හේතුවෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ, දේවාලයේ ප්‍රධාන කපු මහතා විසින්ම ව්‍යාජ රන්තැටියක් නිර්මාණය කර ඇති බවත්, එය ගබඩාවේ තැන්පත් කර ඇත්තේ දෙවැනි විත්තිකරු වන චූටි කපු මහතා විසින් බවත්ය.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා 03ක් යටතේ නඩු පවරා ඇත