ආපදා තත්ත්වයෙන් ශ්‍රී ලංකාව යළි නගා සිටුවීම සඳහා රජය මගින් ක්‍රියාත්මක කර ඇති “Rebuilding Sri Lanka” වැඩපිළිවෙල අගය කරන බවත්, ඊට සහාය දැක්වීමට සුදානම් බවත් කැනේඩියානු රජය පවසයි.
මෙරට කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් (Isabelle Martin) මහත්මිය සඳහන් කළේ විශේෂයෙන් ම කෘෂිකර්මාන්තය යළි නගා සිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සුදානම් බවය. ඇය මේ බව කියා සිටියේ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සමඟ අද (දෙසැම්බර් 12) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති හමුවකදීය.
එහි දී අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ආපදා තත්ත්වය සහ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අදහස් පළ කළේය. අමාත්‍යවරයා කියා සිටියේ, පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදි කිරීමේ දී භූවිෂමතා සහ පරිසර තත්ත්වයන් සලකා බලමින් අවදානම් සහගත ස්ථාන සහ ප්‍රදේශ මග හැර අදාළ ඉදිකිරීම් සිදු කර දීම රජයේ අපේක්ෂාව බවය.
එසේ ම ආධාර ලබා දීමේ දී පසුගිය රජයන් සිදු කළ දේශපාලන හිතවත්කම් හෝ අමාත්‍යවරුන්ගේ පෞද්ගලික රුචිකම් වෙනුවට නව රජය විශ්වාසය තබන්නේ ග්‍රාම නිලධාරීවරයාගේ සිට ඉහළ ඇති රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි පමණක් බව ද ඔහු අවධාරණය කළේය. ජනාධිපතිවරයාගේ අරමුණ වන්නේ ද කිසිවකු මඟ නොහැරෙන ආකාරයේ නැගී සිටුවීමේ ක්‍රියාවලියක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඊට විදේශ රටවලින් ලැබෙන සහාය අතිශය අගය කරන බවත් පැවසීය.
පෙර පැවැති රජයන්හි පැවැති දූෂණ අක්‍රමිකතා වර්තමානයේ නොමැති වීම විදේශීය රජයක් ලෙස තමන් බෙහෙවින් අගය කරන බවත්, විශ්වාසනීය ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාව පවතින බවත් මහ කොමසාරිස්වරිය මෙහිදී පැවසුවාය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ, ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් කැනඩාවේ විවිධ රැකියාවල නිරතව සිටින බැවින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කැනේඩියානු රජය විශේෂ අවධානයකින් කටයුතු කරන බවය.
රජය මගින් විධිමත් තක්සේරුවක් සිදු කළ පසු අවශ්‍ය ක්ෂේත්‍ර සඳහා සිය උපරිම සහාය ලබාදීමට සුදානම් බව ඉසබෙල් මාටින් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.