ශිෂ්‍ය සංඛ්‍යාව ඉතාමත් අඩු පාසල් තාවකාලිකව වසා දැමීම සඳහා සලකා බැලිය හැකි නිර්ණායක, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
මෙම නව නිර්ණායකවලට අනුව, ශ්‍රේණියක සිසුන් සංඛ්‍යාව දහයට අඩු හෝ පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව පනහට අඩු පාසලක් වසා දැමීම සඳහා සලකා බැලිය හැකිය.
ඊට අමතරව, එම පාසල පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර් පහක දුරකින් යුත් ප්‍රදේශයේ වසා දැමීමට සලකා බලන පාසල් වර්ගයට සමාන හෝ ඊට උසස් පාසලක් පිහිටා තිබීම ද අනිවාර්ය වේ.
අමාත්‍යාංශය නිකුත් කර ඇති පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ චක්‍ර ලේඛය සහ උපදෙස් සංග්‍රහය අනුව, වසා දැමීමට යෝජිත පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ අධ්‍යාපනයට කිසිදු බාධාවක් නොවන පරිදි, ඔවුන්ට පහසුවෙන් ළඟා විය හැකි සුදුසු පාසලකට ඇතුළත් කළ යුතු ය.
මෙම නිර්ණායක අනුව පාසලක් තාවකාලිකව වසා දැමීමට පළාත් ව්‍යුහ කමිටුවට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයීය ව්‍යුහ කමිටුවට සලකා බැලීමේ හැකියාව ඇති බව ද එහි සඳහන් වේ.
සියලු පාසල් විචාරවත් කිරීමේ වැඩසටහන යටතේ මෙම උපදෙස් නිකුත් කර ඇති අතර, එහි ප්‍රධාන අරමුණ වන්නේ පදිංචි ස්ථානයට ආසන්නයේ සියලු පහසුකම් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය හැකි පාසලක් සෑම ශිෂ්‍යයකුටම ලබා දීමයි.
එමෙන්ම, වසර තුනකට වරක් පළාතේ පාසල් විචාරවත් කිරීම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සිදු කරනු ලැබිය යුතු බව ද අමාත්‍යාංශය අවධාරණය කර ඇත.