පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඇමෙරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් වංචා කළ බව චෝදනා ලත්, ඝානා ජාතිකයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්රන් විකිණීමේ මුවාවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඝානා රාජ්‍යයේ ජාතික ආරක්ෂක කවුන්සිලයට ලැබුණු පැමිණිල්ලකට අනුව ය.
2023 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලාට රත්රන් ලබාදෙන බව පවසමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් මෙම සැකකරුවන් විසින් ලබා ගෙන ඇති අතර, අදාළ මුදල ලබා ගැනීමෙන් අනතුරුව සැකකරුවන් විසින් මන්ත්‍රීවරයා සමඟ පැවැත්වූ සියලු සබඳතා නවතා දමා ඇති බව වාර්තා වේ.
මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුව යළිත් හිස්බුල්ලා මන්ත්‍රීවරයාට රත්රන් කිලෝග්‍රෑම් 50 ක් විකිණීමට එම සැකකරුවන් ඉදිරිපත් වී ඇති බව ය. ලැබුණු පැමිණිල්ලට අනුව ඝානා ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් මෙම සැකකරුවන් පසුගිය ඔක්තෝබර් 16 වැනි දින අත්අඩංගුවට ගෙන ඇති බවත්, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇප මත නිදහස් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.