දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ ගිගුරුම් සහිත වැසි සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් සබරගමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි අතර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් පවතී.
මීට අමතරව, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් හමන තරමක තද සුළං බලාපොරොත්තු විය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු මඟින් සහ තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.