පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා වගාබිම් රැසක් විනාශ වීමත් සමඟ වෙළඳපොළේ එළවළු මිල සීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම උඩරට එළවළුවලට සාපේක්ෂව පහතරට එළවළු මිල දෛනිකව සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතින බව පාරිභෝගික ජනතාව මැසිවිලි නගති.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික මිල දර්ශනයට අනුව ඊයේ දිනය වන විට පිටකොටුව, දඹුල්ල සහ නාරාහේන්පිට වැනි ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පවතින්නේ ඉතා ඉහළ මට්ටමකය. ඒ අනුව බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 600ත් 800ත් අතර අගයක් ගෙන ඇති අතර, තක්කාලි කිලෝවක් රුපියල් 500ත් 600ත් අතර මිලකට අලෙවි වේ.
අමු මිරිස් මිලෙහි ද කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර එහි කිලෝවක සිල්ලර මිල රුපියල් 1100ත් 1200ත් අතර පරාසයක පවතී. මීට අමතරව පතෝල කිලෝවක් රුපියල් 600ත් 700ත් අතර මිලකටත්, වම්බටු කිලෝවක් රුපියල් 550ත් 800ත් අතර මිලකටත් අලෙවි වී ඇති බව වාර්තා වේ.
කැරට් සහ ගෝවා වැනි එළවළු වර්ග ද රුපියල් 300ත් 500ත් අතර සිල්ලර මිල ගණන් යටතේ වෙළඳපොළේ පවතියි. වගාබිම් විනාශ වීම නිසා වෙළඳපොළට එළවළු පැමිණීම සීමා වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත.