මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන කුඩු රොෂාන් නමැත්තා අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. කාලයක් තිස්සේ පොලිස් ඇසට වැලි ගසමින් සැඟව සිටි මොහු අත්අඩංගුවට ගැනීමට හැකිවීම විශේෂ ජයග්‍රහණයක් ලෙස ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී සැකකරු කොටු කර ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ. ඔහු රැඳී සිටි ස්ථානය වටලන අවස්ථාවේදී පලා යාමට උත්සාහ කළ ද ආරක්ෂක අංශ එය ව්‍යර්ථ කරමින් ඉතා සූක්ෂම ලෙස සැකකරු සිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් ද සොයාගෙන තිබේ. මෙම ගිනි අවිය කිසියම් අපරාධයක් සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබුණේ ද යන්න පිළිබඳව පොලිසිය සැක පළ කරන අතර, ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇත.
සැකකාර කුඩු රොෂාන් නමැත්තාට එරෙහිව මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසක් පවතින බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.