හිටපු කථානායක අසෝක රන්වල මහතාගේ බිරිඳ රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බියගම පොලිසිය වාර්තා කරයි. ඊයේ (16) රාත්‍රියේ කැලණිය – බියගම මාර්ගයේ පිහිටි ඔවුන්ගේ නිවස ආසන්නයේදී මෙම අනතුර සිදුවී තිබේ. සිය මෝටර් රථය නිවසට ඇතුළු කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී, කැලණිය දෙස සිට පැමිණි තවත් මෝටර් රථයක් එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ මන්ත්‍රීවරයාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියා ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබේ. පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනෙක් මෝටර් රථය පැදවූ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි රියදුරා අනතුර සිදුවන අවස්ථාවේදී දැඩි ලෙස මත්පැන් පානය කර සිට ඇති බවයි. තුවාල ලැබූ අසෝක රන්වල මහතාගේ බිරිඳ මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර බියගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.