ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ විකිරණ ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබා දීම සඳහා භාවිතා කරන ලීනියර් ඇක්සලරේටර් (Linear Accelerator) යන්ත්‍රය පසුගිය සඳුදා දින (12 වෙනිදා) සිටත්, කොබෝල්ට් (Cobalt) විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය පසුගිය බදාදා දින (14 වෙනිදා) සිටත් මෙලෙස බිඳවැටීමට ලක්ව ඇත.
මෙම යන්ත්‍ර දෙකම අක්‍රිය වීම හේතුවෙන් දිනකට ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් 130 කට ආසන්න පිරිසකගේ ජීවිත අවදානමකට ලක්ව තිබේ. සාමාන්‍යයෙන් ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය මගින් දිනකට පිලිකා රෝගීන් 100 ක් සහ කොබෝල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 25 ත් 30ත් අතර ප්‍රමාණයකට ප්‍රතිකාර කිරීම මේ වනවිට සිදුකරමින් පැවතිය ද, මෙලෙස යන්ත්‍ර බිඳවැටීම නිසා එම ප්‍රතිකාර සේවාවන් සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පෙන්වා දෙන්නේ ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රයේ නඩත්තු කටයුතු ප්‍රමාද වීමට අදාළ සේවා ගිවිසුම් නියමිත වේලාවට අත්සන් නොකිරීම ප්‍රධාන හේතුවක් වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාළ බලධාරීන් දැනුවත් කර තිබුණද මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
විකිරණ තාක්ෂණවේදීන් චෝදනා කරන්නේ මෙම යන්ත්‍ර මිලදී ගැනීම් සහ නඩත්තු ගිවිසුම්වලට අදාළ තාක්ෂණික කමිටු සඳහා විෂය පිළිබඳ ප්‍රවීණත්වයක් ඇති විකිරණ තාක්ෂණවේදීන් සම්බන්ධ කර නොගැනීම මෙවැනි ගැටලු උත්සන්න වීමට හේතු වී ඇති බවයි.