පසුගියදා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන භාණ්ඩ සඳහා 34%ක නව තීරුබදු පැනවීමට ගත් පියවරට ප්‍රතිඋත්තර ලෙස ඇමරිකානු භාණ්ඩ සඳහා ද චීනය 34%ක බද්දක් පැනවීමට පියවර ගත්තේය. මෙම තීරණයට විරෝධය පළ කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා පසුගිය 07 දා කියා සිටියේ ඇමරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය කටයුතු නොකළහොත් ඇමරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බව ය.
මේ අතර නව බදු පැනවීම ගැන ජනපති ට්‍රම්ප්ගේ සමීපතම උපදේශක එලෝන් මස්ක් දැඩි ලෙස විවේචනය කර ඇත. එලෝන් මස්ක් ප්‍රසිද්ධියේම ජනපති ට්‍රම්ප්ගේ වෙළෙඳ උපදේශක පීටර් නැව්රෝ මෝඩයකු ලෙස හඳුන්වා තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු හේතුවෙන් රටවල් දිගින් දිගට ම පසුබෑමකට ලක්වීමත් සමග ලෝක ආර්ථිකය පිළිබඳ බියක් ඇති කරමින් ලොව පුරා කොටස් වෙළෙඳපොළවල් පහත වැටී තිබේ. ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ද සඳුදා තාවකාලිකව අත්හිටුවීමට පවා සිදුවිය.
කොටස් මිල දිගු කාලයක් පහත වැටී පැවතියහොත්, එය රැකියා කෙරෙහි බලපෑමක් ඇති කළ හැකිය. තඹ සහ තෙල් මිල ගණන් ගෝලීය ආර්ථික සෞඛ්‍යයේ පරාමිතීන් ලෙස සැලකේ. ට්‍රම්ප් සිය තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මේ ද්විත්වයම 15% කට වඩා පහත වැටී ඇත.
අප්‍රේල් 02 වැනිදා ලෝකයටම ආනයන බදු පනවමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක නව තීරුබද්දක් අයකරන බවය. ඇමරිකානු බදු ලැයිස්තුව අනුව 7 වන ස්ථානයට වැඩිම බදු ප්‍රමාණයක් පනවා ඇත්තේ ශ්‍රී ලංකාවට ය.