මධ්‍යම පරිසර අධිකාරියේ නිසි අවසරයකින් තොරව මෙගාවොට් 50 ට වැඩි ධාරිතාවකින් යුත් භූගත සූර්ය බලාගාර අටක් ඉදිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය උත්සාහ ගන්නා බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම ව්‍යාපෘති සැලසුම් කිරීම පිටුපස විදුලිබල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අමාත්‍ය ධුරයට පත්වීමට පෙර සේවය කළ බව කියන ආයතනයක් සම්බන්ධ වී ඇති බවට ද බරපතළ චෝදනා එල්ල වී ඇත.
ජාතික පරිසර පනතට අනුව මෙගාවොට් 50 ට වැඩි ඕනෑම බලාගාරයක් ඉදිකිරීමේදී පරිසර බලපෑම් වාර්තාවක් හෙවත් EIA අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. එහෙත් එම නීතිමය ක්‍රියාවලිය මඟහරිමින්, අඩු පිරිවැයක් සහ ලිහිල් කොන්දේසි සහිත මූලික පරිසර වාර්තාවක් හෙවත් IEE සහතිකය මත පමණක් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙම ව්‍යාපෘති අතර මෙගාවොට් 100 ක විදුලි ව්‍යාපෘති හයක් ද ඇතුළත් වන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා කියා සිටියේ මෙගාවොට් 50 ඉක්මවන ව්‍යාපෘති සඳහා EIA වාර්තාවක් නොමැතිව අවසර ලබා දිය නොහැකි බවයි. පරිසරයට, සත්ත්වයන්ට සහ මිනිසුන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා මෙම නීති අත්‍යවශ්‍ය වන බැවින්, මූලික පරිසර වාර්තා මත පමණක් පදනම්ව මෙවැනි ව්‍යාපෘති සිදු කිරීම නීති විරෝධී බව ඔහු අවධාරණය කළේය.
මේ අතර විදුලිබල අමාත්‍යවරයා සම්බන්ධයෙන් තවත් විශේෂ විමර්ශනයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ආරම්භ කර තිබේ. 2015 වසරේ ඔහු පොහොර සංස්ථාවේ සේවය කළ සමයේ සිදුවූ බව කියන රුපියල් මිලියන 8 ක මූල්‍ය අවභාවිතයක් සම්බන්ධයෙන් වන වාර්තාව ලබන සතියේ ඉදිරිපත් කරන ලෙස කොමිසම නියම කර ඇත. ටෙන්ඩරයක් පිරිනැමීමේදී සිදුවූ බව කියන මෙම දූෂණ චෝදනාව පිළිබඳව විමර්ශන කටයුතු මේ වන විට වේගවත් කර තිබේ