රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් පිරිනමනු ලබන ගෞරවනීය රාජ්‍ය සම්මානයක් වන “මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” (Russian State Award for Friendship) ඊයේ (නොවැම්බර් 04) වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතා වෙත පිරිනමන ලදී.
රුසියානු සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව නාමයන් අතරට මෙය අයත් වේ. දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දේශපාලනික, සංස්කෘතික හා ආර්ථික බැඳීම් ශක්තිමත් කිරීම සඳහා වෛද්‍ය වීරසිංහ මහතා ඉටු කළ අගනා සේවය අගයමින් ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබීය.
වෛද්‍ය සමන් වීරසිංහ මහතා මෙම වසරේ (2025) මෙම සම්මානය හිමිකරගත් එකම ආසියානු ජාතිකයා ද වේ.
මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකු වන වෛද්‍ය වීරසිංහ මහතා, 2015 සිට 2018 දක්වා රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද සේවය කර ඇත. ඔහු දැනට ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහලේකම් ධුරය සහ කොළඹ පිහිටි රුසියානු භූගෝලීය සංගමයේ සභාපති ධුරය ද දරමින් සිටී.