හැටන් දුම්රිය ස්ථානය සතු ගොඩනැගිලි කොටස් තාවකාලිකව වෙළෙඳ කටයුතු සඳහා බදු දීමෙන් රුපියල් ලක්ෂ 42.10ක විශාල අමතර ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට උපයා ගැනීමට හැකි වී තිබේ. මෙම ආදායම උපයාගෙන ඇත්තේ එළඹෙන දීපාවලී උත්සව සමය ඉලක්ක කර ගනිමින් දින 14ක කාලයක් සඳහාය. හැටන් දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා මේ බව තහවුරු කළේය.
මෙම අතිරේක ආදායම ලැබී ඇත්තේ දැනට භාවිතයට නොගන්නා වර්ග අඩි 20,000ක නව දෙමහල් ගොඩනැගිල්ලක් සහ වර්ග අඩි 3,000කින් සමන්විත හැටන් දුම්රිය විශ්‍රාම ශාලාව වෙළෙඳාම් කටයුතු සඳහා ටෙන්ඩර් මඟින් ලබා දීමෙනි. ඔක්තෝබර් 05 වන දින ටෙන්ඩර් පත් විවෘත කිරීමේදී, නව දෙමහල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 40කට සහ විශ්‍රාම ශාලාව රුපියල් ලක්ෂ 2.10කට අලෙවි කිරීමට හැකි වී ඇත.
මෙම මුදල පසුගිය වසරේ ලද ආදායමට සාපේක්ෂව කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කරයි. ස්ථානාධිපතිවරයා පැවසුවේ, ඉකුත් වසරේදී නව ගොඩනැගිල්ල රුපියල් 10,25,000ක මුදලකටත්, විශ්‍රාම ශාලාව රුපියල් 74,000කටත් පමණක් අලෙවි වූ බවයි. ඒ අනුව, මෙම ගොඩනැගිලි බදු දීමෙන් ලැබුණු ආදායම මෙවර තුන් ගුණයකින් වැඩි වී ඇති බව ඔහු සඳහන් කළේය. ටෙන්ඩර් පත් විවෘත කිරීමේ අවස්ථාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වී තිබේ.