මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට එකම සන්ධානයක් ලෙස තරඟකිරීම උදෙසා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් ජනාධිපතිවරයාට සහය දැක්වූ මන්ත්‍රී කණ්ඩායම ‘සිලින්ඩරය’ ලකුණින්ම මහමැතිවරණයට තරඟ කිරීමට තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ සමගි ජන බලවේගය සමග පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා සාකච්ඡා කරන බවයි. ඒ අනුව, පසුගිය දිනවලදී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවට කිහිපයක් පැවැත්විණි.
එහිදී දෙපිරිසම පාර්ලිමේන්තු මැතිවරණයට ‘අලියා’ ලකුණින් තරඟ කිරීමට තීරණය කර ඇත. නමුත්, සමගි ජන බලවේගය මෙහිදී පවසා ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් සජිත් ප්‍රේමදාසට අගමැතිධූරය හිමිවිය යුතු බවත්, පැරැදුණහොත් විපක්ෂ නායකධූරය හිමිවිය යුතු බවත්ය. තවද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉවත්වී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට නායකත්වය ලබාදිය යුතු බවටද සමගි ජන බලවේගය යෝජනා කර ඇත. නමුත්, එක්සත් ජාතික පක්ෂය ඊට කැමැත්ත පළකර නැති බැවින් සාකච්ඡා බිඳවැටී ඇත.
මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට සහය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ සම්බන්ධ කරගෙන ‘සිලින්ඩරය’ ලකුණින්ම තරඟ කිරීමට සැලසුම් කර ඇත. තවද ඊට අදාළ ලිපි ලේඛන ද මැතිවරණ කොමිෂන් සභාවට යවා ඇතැයි පැවසේ.