හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (12) පෙරවරුවේ බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. රජය විසින් හඳුන්වා දීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බව වාර්තා වේ.
සත්‍යග්‍රහයේ නිරත පිරිස ප්‍රධාන ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර ඇති අතර, දැනට යෝජනා වී ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම ඉල්ලා අස්කර ගත යුතු බව ඔවුන්ගේ මූලික ඉල්ලීම වී ඇත. එසේම, වත්මන් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය දරනු ලබන අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඇය වහාම ඉල්ලා අස්විය යුතු බවට ද විරෝධතාකරුවෝ මෙහිදී බලකර සිටිති.
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පරිශ්‍රයේ ආරම්භ කර ඇති මෙම සත්‍යග්‍රහය හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව ද තර කර ඇති අතර, සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලැබෙන තෙක් මෙම අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව විමල් වීරවංශ මහතා ප්‍රමුඛ විරෝධතාකරුවන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.