මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරු ලෙස නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන සැප්තැම්බර් 26 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝ. 23) නොතිසි නිකුත් කර ඇත.
2015 වසරේ සිදු කළ මහබැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන 10කට අධික අලාභයක් සිදුකළේ යැයි ඔහුට විරුද්ධව ඇති චෝදනාවයි.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මෙම නොතීසි නිකුත් කළා ය.
අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දී ඇත්තේ මේ වනවිට සිංගප්පූරුවේ පදිංචි වී සිටින බව කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පසුගිය වසරේ නොතිසී නිකුත් කර තිබුණත් එම නොතිසි නිසියාකාරව ක්‍රියාත්මක වී නොමැති බව ය.
මෙම සැකකරුට ඉංග්‍රීසි භාෂාවෙන් නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නොතිසි නිකුත් කර ඇත.