අධිකරණ අපහාසයට මුවාවෙමින් පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය සීමා කිරීමට පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දරන උත්සාහය ‘දිනන දකුණ සාමූහිකය’ විසින් දැඩි සේ හෙළා දැක තිබේ. අද (16) දින විශේෂ මාධ්‍ය ප්‍රකාශනයක් නිකුත් කරමින් එම සාමූහිකය අවධාරණය කරන්නේ, මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.
දේශපාලන හා සිවිල් ක්‍රියාකාරීන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෑතකදී ආරම්භ කර ඇති නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සිය පිළිකුල සහ විරෝධය පළ කරන බව එම නිවේදනයේ සඳහන් වේ.
2024 අංක 8 දරණ අධිකරණයට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ, ස්වාධීන අධිකරණයකට අපහාස කිරීමේ නඩුවක් පැවරීමට හෝ පවත්වාගෙන යාමට පොලීසියට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව දිනන දකුණ සාමූහිකය පෙන්වා දෙයි. මහජන මතය මර්දනය කිරීම සහ ආන්දෝලනාත්මක රාජ්‍ය නිලධාරියෙකු වන CID ප්‍රධානියා කෙරෙහි එල්ල වන මහජන විවේචන වැළැක්වීම සඳහා මෙම පනත පළිහක් කරගනිමින් සාපරාධී විමර්ශන පැවැත්වීම පැහැදිලිවම නීතිය විකෘති කිරීමක් බව ඔවුහු පවසති.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තිය මඟින් භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසත්, 10 වැනි වගන්තිය මඟින් සිතීමේ සහ හෘද සාක්ෂියේ නිදහසත් සෑම පුරවැසියෙකුටම තහවුරු කර ඇත. රජයේ ආයතන හෝ නීතිය බලාත්මක කරන ආයතන දේශපාලනීකරණය වන විට, ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට පුරවැසියාට පරමාධිපත්‍ය බලයක් ඇති බව සිහිපත් කරන එම සංවිධානය, නිදහස් මතධාරීන් බියවැද්දීමට පොලීසිය දරන උත්සාහය ශිෂ්ට සම්පන්න සමාජයකට නොගැලපෙන බවත්, එවැනි ක්‍රියා සුදුසු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටකට නොව පොලිස් රාජ්‍යයකට පමණක් බවත් පවසයි.
දේශපාලන අවශ්‍යතා මත සිදුකරන මෙවැනි අත්තනෝමතික පොලිස් මර්දනයන් වහාම නතර කරන ලෙසත්, පුරවැසියන්ගේ භාෂණයේ නිදහස සුරක්ෂිත කරන ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින දිනන දකුණ සාමූහිකය, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියලුම බලවේගයන් මෙම මර්දනයට එරෙහිව එක පෙළට සිටගත යුතු බවට අවධාරණය කර සිටී.
මෙම නිවේදනය දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් එහි නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව විසින් නිකුත් කර තිබේ.