මෙරට ඇති වූ දරුණු ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ සහ සමස්ත ලංකාවාසී ජනතාවට සෙත් සුව ප්‍රාර්ථනා කිරීමත්, වියෝ වූ ජනතාවට පිං අනුමෝදන් කිරීමත් අරමුණු කර ගනිමින් ඓතිහාසික කිරිවෙහෙර අභියසදී ඊයේ (දෙසැම්බර් 06) රාත්‍රියේ සිට රැය පහන්වන තුරු සර්වරාත්‍රික මහා පිරිත් දේශනාවක් පවත්වා තිබේ.
මෙම පිරිත් දේශනාව, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාව යටතේ පැවැත්විණි. මාතර, හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝ නායක, දේවාලේගම ධම්මසේන නාහිමි ප්‍රධාන අවට විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලාගේ ආශීර්වාදය සහ සහභාගීත්වය ද මේ සඳහා ලැබී ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස්
මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ:
- අප රට ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම ජාතික ආපදාවට මුහුණ දීමට සිදු වූ බව.
- එම ජාතික ව්‍යවසනයෙන් පසු මේ වන විට අප මාතෘ භූමිය ක්‍රමක්‍රමයෙන් නැගීසිටින බව.
- ඒ සඳහා නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයින්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය ආයතන සහ මෙරට ජනතාව විශාල මැදිහත්වීමක් සිදු කළ බව.
මෙම ආගමික අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ඒ. එම්. ජයවර්ධන, කතරගම මහා දේවාලයේ වැඩබලන බස්නායක නිළමේ තිළින මධුසංක ඇතුළු අවට ගම්මානවල සැදැහැවතුන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.