නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වූ මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
විශ්‍රාමික මේජර් ඩබ්ලිව්. එස්. එල්. එස්. පලිපාන මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන් බව අධිකරණ වාර්තාකරු පැවසීය.
පෙත්සම්කරු සඳහන් කර තිබුණේ, 2006 සහ 2007 වසරවලදී නඩු කටයුත්තක් සඳහා වගඋත්තරකාර නීතිඥවරයා පත් කර ගත් බවත්, රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා සිටි ඔහුට රුපියල් 50,000ක අත්තිකාරම් මුදලක් ලබා දුන් බවත්ය. කෙසේ වෙතත්, නීතිඥවරයා පොරොන්දු වූ පරිදි සේවාව ඉටු නොකළ අතර, ලබා දුන් ලේඛන හා මුදල් ආපසු භාරදීම ද පැහැර හැර තිබේ. මේ හේතුවෙන් පෙත්සම්කරු 2008 වසරේ පෙබරවාරි 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කර ඇත.
අදාළ නඩුව දීර්ඝ ලෙස විභාග කිරීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සඳහන් කළේ, මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකරු නීතිඥ වෘත්තියේ ගෞරවයට දැඩි හානියක් සිදු කර ඇති බවයි.
විනිසුරුවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, නීතිය ක්‍රියාත්මක කිරීම යනු පුද්ගලික වාසි තකා සූරාකෑමට ඇති වරප්‍රසාදයක් නොවන අතර, නීතිඥ වෘත්තිය හුදෙක් වෘත්තියක් නොව ගෞරවනීය මහජන විශ්වාසයක් බවය.
ඒ අනුව, චෝදනාවට වරදකරු වූ එම නීතිඥවරයාගේ නම නීතිඥ නාම ලේඛනයෙන් කපා හරින ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝග කර තිබේ.