ඉදිරියේදී පැවැත්වීමට නියමිත දැල්පන්දු සම්මේලන නිලවරණය කැඳවා ඇත්තේ අධිකරණ නියෝගයට පටහැනිව යැයි වාර්තා වේ.
මෙම නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉකුත් ජුනි මස 23 වැනිදා ලබාදුන් නඩු තීන්දුවට අනුව, 2025 මැයි 21 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් අංක 2437/24 දරණ නව රෙගුලාසි ප්‍රකාරව නව නිලවරණය පැවැත්විය යුතුව තිබුණි. එහෙත්, මෙම නිලවරණය කැඳවා ඇත්තේ එයට පෙර තිබූ රෙගුලාසිවලට අනුව බව පැවැසේ.
නව රෙගුලාසි යටතේ අනුබද්ධ සංගම් සඳහා ඡන්ද බලය ලබාදීමේදී තරගාවලි පැවැත්වීම සහ සහභාගීත්වය වැනි අනිවාර්ය අවශ්‍යතා සපුරාලිය යුතු වුවද, ඒ පිළිබඳ තැකීමකින් තොරව අනුබද්ධ සංගම් සඳහා පැරණි ක්‍රමවේදය යටතේම ඡන්ද බලය පිරිනමා තිබේ.
එසේම, සම්මේලන ව්‍යවස්ථාවේ තනතුරු 11ක් සහ නව රෙගුලාසි යටතේ ප්‍රධාන තනතුරු 7ක් පිළිබඳ සඳහන් වන විට, නියමිත නිලවරණය සඳහා තනතුරු 8ක් කැඳවා තිබීමද අපැහැදිලි තත්ත්වයක් නිර්මාණය කර ඇත.
මාස 18ක පමණ කාලයක් පුරා දැල්පන්දු සම්මේලනයක් ක්‍රියාත්මක නොවූ අතර, පැරණි නිලවරණය අහේතුකව අහෝසි කිරීම සහ වාරණ නියෝග හේතුවෙන් නිලවරණය තවදුරටත් ප්‍රමාද විය.
අදාළ නඩු තීන්දුවෙන් අනතුරුව නිලවරණය සඳහා අලුතින් නාම යෝජනා කැඳවීමට දැල්පන්දු නිලවරණ කමිටුව කටයුතු කළේය. එම නාම යෝජනා භාරගැනීම සහ විවෘත කිරීම අද (නොවැම්බර් 03) දිනට යෙදී තිබේ.