ඉදිරි උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා පිහිටි ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ ආගමික වතාවත්වල නිරත වන මහජනතාවගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාවේ සහාය ද ලබා ගැනීමට පියවර ගෙන ඇති බවයි.
මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම යටතේ නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් විශාල පිරිසක් ආගමික ස්ථාන අවට රාජකාරි සඳහා යොදවා තිබේ. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් අමතර පොලිස් නිලධාරීන් 2,500කට වැඩි පිරිසක් අනුයුක්ත කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
සියලුම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් හට සිය බලප්‍රදේශයේ පිහිටි ආගමික නායකයින් හමුවී ඉදිරි ආගමික වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කර අවශ්‍ය ආරක්ෂාව සම්පාදනය කරන ලෙසට උපදෙස් දී ඇත. උත්සව සමය තුළ ජනතාව බියකින් තොරව සිය ආගමික කටයුතුවල නිරත කරවීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
ආරක්ෂක වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා මහජනතාවගේ සහාය ද අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන පොලීසිය, යම් හෙයකින් සැකකටයුතු පුද්ගලයෙකු, කණ්ඩායමක් හෝ කිසියම් භාණ්ඩයක් පිළිබඳව තොරතුරු නිරීක්ෂණය වුවහොත් ඒ පිළිබඳව වහාම ළඟම සිටින පොලිස් නිලධාරියෙකුට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.