මහා මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකුට අවස්ථා තුනකදී සුනඛයකු සපා කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ අධිකරණයේ විභාග වූ නඩුවකදී, අගතියට පත් පාර්ශ්වයට වන්දි මුදලක් ගෙවීමට චූදිත පාර්ශ්වය එකඟතාව පළ කර තිබේ. ඒ අනුව අදාළ සුනඛයාගේ අයිතිකාරිය ලෙස චෝදනා ලැබ සිටින කාන්තාව විසින් පැමිණිලිකාර පාර්ශ්වය වෙත රුපියල් 25,000ක දීමනාවක් ගෙවීමට එකඟ වී ඇත.
වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර, වැලිවේරිය පොලිසිය විසින් මීට අදාළ පැමිණිල්ල මෙහෙයවන ලදී. සුනඛයෙකු නිසි පරිදි පාලනය නොකර මහජනයාට අනතුරුදායක වන ලෙස හැසිරවීමේ චෝදනාව මත මෙම නෛතික ක්‍රියාමාර්ගය ආරම්භ වී තිබුණි.
පාර්ශ්වයන් අතර ඇති වූ මෙම එකඟතාව සැලකිල්ලට ගත් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ධම්මික උඩුවේවිධාන මහතා, නඩුවේ වැඩිදුර විභාගය ලබන ජනවාරි මස 29 වැනි දින දක්වා කල් තැබීමට නියෝග කළේය. සුරතල් සතුන් ඇති කරන්නන් තම සතුන් පිළිබඳව වගකීමෙන් කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවන අනතුරු සම්බන්ධයෙන් අධිකරණය හමුවට පැමිණෙන මෙවැනි නඩු වර්තමානයේ නිතර අසන්නට ලැබේ.