වසර 46 කට අධික කාලයක් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් අම්පාර දීඝගාමිණි මාවතේ රජයේ නිවාසයක් පරිහරණය කළ හිටපු අමාත්‍යවරයකු වන පී. දයාරත්න එම නිවාසය ඊයේ(31) වන දින අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාට භාරදීමට කටයුතු කර ඇත.
1977 එක්සත් ජාතික පක්ෂයෙන් අම්පාර ආසනය සඳහා පාර්ලිමේන්තුවට තේරී පත්වූ පී. දයාරත්න සිය දේශපාලන කටයුතු සඳහා අඛණ්ඩව මෙම නිවාසය පාවිච්චි කර ඇති අතර, 2015 වසරේ දී පාර්ලිමේන්තු අසුන පරාජය වීමෙන් පසුවත් එවකට පැවති ආණ්ඩුවල අවසර මත මෙම නිවාසයේ රැඳීසිට තිබේ.
වත්මන් ජාතික ජනබලවේගය ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනාටම ඔවුන් පරිහරණය කළ රජයේ නිවාස ආපසු භාරදීමට සිදුවූ අතර ඒ අනුව මෙම නිවාසය නැවත ලබාගැනීමට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කර ඇත.
මේ අතර අම්පාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය තිලක් රාජපක්ෂ සහ විමලවීර දිසානායක යන අයද ඔවුන් පරිහරණය කළ රජයේ නිවාස දෙකක් පසුගිය දිනක නැවත අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාරදී ඇති බව එම කාර්යාලීය ආරංචි මාර්ග පවසයි.