දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් අතුරුදන්ව සිටි බව කියන කහ ඇනකොණ්ඩා පැටවා යළි සොයා ගැනීමට හැකි වී තිබේ. සත්වෝද්‍යාන බලධාරීන් පවසන පරිදි මෙම සත්වයා උරග උයන තුළම පිහිටි යකඩ පෙට්ටියක සිටියදී සොයාගෙන ඇත. මෙම කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන් වීම සම්බන්ධයෙන් පසුගියදා උරග උයනේ සත්ව භාරකරුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන තිබුණි.
මීට පෙර කාන්තාවක විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කහ ඇනකොණ්ඩා ඇතුළු සර්ප විශේෂ කිහිපයකට අයත් සර්පයන් හය දෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබුණි. එම සතුන් වැඩිදුර රැකබලා ගැනීම සඳහා පසුගිය සැප්තැම්බර් මස 15 වනදා දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාර දී ඇත. උරග උයන තුළ නිරෝධායනය වෙමින් සිටි මෙම සත්වයා, සත්වෝද්‍යානය සතුව සිටි එකම කහ ඇනකොණ්ඩා පැටවා වීම විශේෂත්වයකි.
අවුරුද්දක් පමණ වයසැති අඩි එකහමාරක් හෝ දෙකක් පමණ දිගැති මෙම පැටවා අතුරුදන් වී ඇති බවට පසුගිය 7 වනදා දෙහිවල පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි. එහිදී අදාළ සත්ව භාරකරු ප්‍රකාශ කර තිබුණේ තමා අතින් සිදුවූ අතපසුවීමකින් සත්වයා රඳවා සිටි පෙට්ටියේ දොර විවෘතව පැවතීම හේතුවෙන් පැටවා එළියට යන්නට ඇති බවයි.
මෙම අතුරුදන් වීමත් සමඟ සත්වෝද්‍යාන සේවකයන් යොදවා දින කිහිපයක් පුරා සෝදිසි කිරීම් සිදු කළ ද සත්වයා සොයා ගැනීමට හැකි වූයේ නැත. පසුව සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පවත්වා සත්ව භාරකරුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් කටයුතු කළේය. එවන් පසුබිමක අතුරුදන් වූ සත්වයා උරග උයන තුළම තිබූ යකඩ පෙට්ටියක සිටියදී යළි හමුවීම කාගේත් අවධානයට ලක්ව තිබේ.