රට පුරා නිකුත් කිරීමට නියමිත ලක්ෂ 3කට අධික රියැදුරු බලපත්‍ර ප්‍රමාණයක් ඉදිරි මාස තුනක කාලය තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට සූදානම් බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ නිලධාරීහු ප්‍රකාශ කරති.
මෙම අදහස් පළ වූයේ අමාත්‍ය බිමල් රත්නායකගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.
බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීම සඳහා අවශ්‍ය මුද්‍රණ යන්ත්‍රයක් සෑම පළාතකම ස්ථාපිත කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත්, ආරක්ෂිත විශේෂාංග වැඩි දියුණු කළ නව රියැදුරු බලපත්‍රය ද මේ වසරේදී මුද්‍රණය කර නිකුත් කිරීමට නියමිත බවත් නිලධාරීහු මෙහිදී කියා සිටියහ.
රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් මිලියනයක් ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර අවසන් බව ද අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.
වාහන අංක තහඩු නිකුත් කිරීම පිළිබඳව කාරක සභා සභාපතිවරයා විමසූ විට, මේ වන විට සැපයුම්කරුවෙක් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවත්, අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි බවත් නිලධාරීහු පැවසූහ.
තවද, මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක ඒකාබද්ධ කාලසටහන පිළිබඳව සාකච්ඡා විය. ඒකාබද්ධ කාලසටහන ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කිරීමේදී පවතින අඩුපාඩු හඳුනාගෙන වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා ඉදිරියේදී තවත් ප්‍රදේශ වලට මෙය හඳුන්වා දීමට සූදානම් බව කාරක සභා සභාපතිවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා දුම්රිය මාර්ගවලදී අලි ඇතුන්ට සිදුවන අනතුරු අවම කර ගැනීමේ නියමු වැඩසටහනක් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව, රුපියල් මිලියන 28ක මුදලක් වැය කරමින් මඩකලපුව මාර්ගයේ ධාවනය වන දුම්රිය සඳහා දුර පෙනෙන තාක්ෂණය (Remote Sensing Technology) සහිත කැමරා සවි කිරීමට කටයුතු කරන බව පැවසීය. එමඟින් වන අලි දුම්රියේ ගැටීම් අවම කර ගැනීමට පවතින අවස්ථාව පිළිබඳව නිරීක්ෂණය කරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.