මීගමුව බන්ධනාගාර සිදුවීම වගවීම තහවුරු කරන්නැයි ‘දිනන දකුණ’ සාමූහිකයෙන් රජයට බලපෑම්
මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය දිනවල සිදුවූ අවාසනාවන්ත ගැටුම සහ ඉන් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් පූර්ණ විනිවිදභාවයකින් යුත් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි ‘දිනන දකුණ’ සාමූහිකය රජයෙන් දැඩිව ඉල්ලා සිටී. එම සාමූහිකය පෙන්වා දෙන්නේ, බන්ධනාගාර නිලධාරීන්ගේ මරණය මෙන්ම සිරකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රාජ්‍යය සතු වගකීම පැහැර හැරිය නොහැකි බවයි.
අද දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ මෙම ඛේදවාචකය වැලිකඩ සහ මහර බන්ධනාගාරවල මීට පෙර සිදු වූ සිදුවීම්වලට නොදෙවැනි බවයි.
රාජකාරියේ නිරතව සිටියදී බන්ධනාගාර නිලධාරීන් අට දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ ප්රචණ්ඩ ක්‍රියාව කොන්දේසි විරහිතව හෙළා දකින බව දිනන දකුණ සාමූහිකය අවධාරණය කරයි. කෙසේ වෙතත්, එම ඛේදවාචකය මුවාවෙන් බන්ධනාගාරය තුළ මියගිය සිරකරුවන්ගේ ජීවිත සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය දරන වගකීම යටපත් කිරීමට උත්සාහ නොකළ යුතු බව ඔවුහු පවසති.
650ක් සඳහා පමණක් ඉඩකඩ ඇති බන්ධනාගාරයක 2,400ක් රඳවා තැබීම රජයේ ව්‍යුහාත්මක අසාර්ථකත්වයක් බවත්, එය සිදුවූයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දුර්වල පරිපාලනය නිසා බවත් සාමූහිකය පෙන්වා දෙයි.
විමර්ශන කමිටුවේ ස්වාධීනත්වය පිළිබඳ සැක සංකා
සිද්ධිය සම්බන්ධයෙන් පත් කර ඇති ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සාමාජිකයෙකු සම්බන්ධයෙන් මතුව ඇති විවේචන කෙරෙහි ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. එම කමිටුවේ ස්වාධීනත්වය තහවුරු නොකළහොත්, මෙම විමර්ශනය අපක්ෂපාතී එකක් නොවනු ඇති බව ‘දිනන දකුණ’ සාමූහිකයේ මතයයි.
අවසාන වශයෙන්, රජය විසින් මියගිය සිරකරුවන් සියලු දෙනාම ‘අපරාධකරුවන්’ ලෙස හංවඩු ගසමින් වගකීමෙන් මිදීමට දරන උත්සාහය යුක්තියේ නාමයෙන් පරාජය කළ යුතු බව එම සාමූහිකය අවධාරණය කරයි.