සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපති තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමේ නියෝගය ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (ජූලි 10) දැනුම් දුන්නා.
අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේ, නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ එම දින තෙක් අදාළ නිලතල සඳහා ඡන්ද විමසීම නොපවත්වන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට උපදෙස් දෙන බවයි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.
සීතාවක ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර, එහි වගඋත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් නම් කර තිබුණා.
මෙම තීන්දුවත් සමඟ සීතාවක ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයෙකු සහ උපසභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම ලබන සඳුදා දක්වා ප්‍රමාද වනු ඇත.