ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ 49 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල ඊයේ (29) ගාල්ල දඩැල්ල ක්‍රීඩා සංකීර්ණයේදී විවෘත විය.
ඉසව්වල පළමු දිනයේදී කාන්තා මීටර් 10,000 ඉසව්ව රන් පදක්කම නැගෙනහිර පළාතේ ඩබ්ලිව්. ඒ. එම්. රසාරා විජේසූරිය ලබා ගනිමින් උළෙලට දීප්තිමත් ආරම්භයක් ලබා දුන්නා. ඇය තරගය නිම කළේ මිනිත්තු 35.32.99ක කාලයත් සමගය. එම ඉසව්වේදී මධ්‍යම පළාතේ එච්. එම්. සී. එස්. හේරත් රිදී පදක්කමත්, බස්නාහිර පළාතේ බී. එම්. එන්. සෙව්වන්දි ලෝකඩ පදක්කමත් දිනා ගත්හ.
ඉසව්වල කැපී පෙනුන තවත් අවස්ථාවක් වශයෙන් උතුරු පළාතේ එන්. දක්ෂිතා කාන්තා රිටි පැනීමේදී නව ජාතික වාර්තාවක් පිහිටුවිය. ඇය පැන ගියේ මීටර් 3.52ක් වන අතර, ගතවූ වසරේදී තමන් විසින් පිහිටුවාගත් මීටර් 3.51 වාර්තාව බිම දැමීම විශේෂත්වයක් විය. එම ඉසව්වෙන් මධ්‍යම පළාතේ කේ. ඒ. සී. කේ. කොඩිතුවක්කු රිදී පදක්කමත්, උතුරු පළාතේ පී. අභිශාලිනී ලෝකඩ පදක්කමත් දිනා ගත්හ.
පිරිමි මීටර් 5000 ඉසව්වේදී මධ්‍යම පළාතේ වී. වොක්ෂාන් (15.00.72) රන් පදක්කම දිනා ගත් අතර, උතුරු පළාතේ අයි. විකිර්දන් රිදී පදක්කමත්, බස්නාහිර පළාතේ එස්. ඩී. ගුණසේකර ලෝකඩ පදක්කමත් සතු කර ගත්හ.
කාන්තා හෙල්ල විසිකිරීමේදී සබරගමුවේ එච්. එල්. එන්. ඩී. ලේකම්ගේ (මීටර් 55.61) රන් පදක්කම දිනා ගත් අතර, නැගෙනහිර පළාතේ ඩී. එම්. අයි. හසන්ති රිදී පදක්කමත්, ඌව පළාතේ එච්. පී. ඩී. එච්. මධුවන්තී ලෝකඩ පදක්කමත් ලබා ගත්හ.
ඌව පළාතේ මධුශානි හේරත් කාන්තා දුර පැනීමේදී රන් පදක්කම දිනා ගනිමින් මීටර් 6.09ක ශක්තිමත් දක්ෂතාවයක් පෙන්වීය. බස්නාහිර පළාතේ එච්. ආර්. ඩී. සිත්මිණි රිදී පදක්කමත්, උතුරු මැද පළාතේ ජී. අයි. එස්. ලංකාතිලක ලෝකඩ පදක්කමත් හිමි කර ගත්හ.
දින 3ක් පුරා පැවැත්වෙන මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ දෙවන දිනයේ තරග අද (30) පෙරවරුවේ ගාල්ල දඩැල්ල ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වන අතර, අවසන් දිනය හෙට (31) සවස පැවැත්වීමට නියමිතය.