අනුරාධපුර යසසිරිපුර පදිංචි සචිත්‍ර නිර්මාල් (23) නම් තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇති අතර, මෙය නවක වදය අතරතුර සිදුවූවක් බවට වාර්තා වේ.
මියගිය සිසුවා ශ්වසන රෝගී තත්ත්වයකින් පෙළුණු අයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති අතර, සිද්ධිය වූ දිනයේ (ඔක්තෝබර් 31) ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට බලහත්කාරයෙන් මත්පැන් පොවා ඇති බවට ප්‍රබල චෝදනා එල්ල වී තිබේ.
“වාත කිරීම” යනුවෙන් හඳුන්වන ක්‍රියාවලිය යටතේ, නවක සිසුන් පිරිසක් පසුගිය 31 වන දා දහවල් 1.00 සිට රාත්‍රී 7.00 දක්වා ගිනියම් අව්වේ පිට්ටනියක රඳවා තබා ගනිමින් නවක වදයට ලක් කර ඇති බව පැවසේ.
මෙම අවස්ථාවේදී මත්පැන් පානයට අකමැත්ත ප්‍රකාශ කර තිබියදීත්, ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් මත්පැන් හා ගංජා රැගෙන විත් ඔවුන්ට බලහත්කාරයෙන් මත්පැන් පානය කිරීමට සලස්වා ඇති බවට සෙසු සිසුහු චෝදනා කරති.
මෙම නවක වද සිදුවීම සම්බන්ධයෙන් කිසිවකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
මිය ගිය සිසුවාගේ දේහය වවුනියාව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.