ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිකුත් කළ නිවේදනයක් අනුව, ඉන්දියාව සහ ශ්‍රී ලංකා කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා නව සංශෝධිත කාලසටහන ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, මුල් සැලැස්මට අනුව තරග පැවැත්වීමට නියමිත බැංගලෝර්හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය ඉවත් කර, ඊට ප්‍රතිස්ථානයක් ලෙස මුම්බායිහි DY පටිල් ක්‍රීඩාංගණය තෝරාගෙන ඇත.
මෙවර ලෝක කුසලාන සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාවට අමතරව ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් සහභාගී වන අතර, මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු සියලු රටවල් සමග තරග කරනු ඇත. ලකුණු සටහනේ ඉදිරියෙන් පිහිටි කණ්ඩායම් 4ට අවසන් පූර්ව වටයට පිවිසීමට හැකියාව ලැබේ.
තරගාවලිය සැප්තැම්බර් 30 වනදා ආරම්භ වන අතර, මුල් තරගය ගුවහාතිහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙනු ඇත.
මේ අතර, ඉන්දු පාකිස්තාන දේශපාලන තත්ත්වය හේතුවෙන්, පාකිස්තාන කණ්ඩායමේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව ICC නිවේදනයේ සඳහන්ය. පාකිස්තානය අවසන් පූර්ව වටයට හෝ ඊටත් අගට සුදුසුකම් ලබන්නේ නම්, එම තරගද කොළඹ දීම පැවැත්වේ.
අවසන් පූර්ව තරග ඔක්තෝබර් 29 සහ 30 යන දිනවල, එසේම මහා අවසන් තරගය නොවැම්බර් 2 වනදා පැවැත්වීමට නියමිතය.