වෑතර ප්‍රදේශයේ රෝහලකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගී කාන්තාවක ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන එම රෝහලේ වෛද්‍යවරයෙකු කහතුඩුව පොලීසිය විසින් පෙරේදා (නොවැම්බර් 24) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වෛද්‍යවරයෙකි.
ගෝනපල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් පසුගිය නොවැම්බර් 19 වැනිදා වෑතර රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ ඇති අතර, එහිදී ඇයව පරීක්ෂා කරන මුවාවෙන් වෛද්‍යවරයා විසින් රෝහල තුළදීම එම කාන්තාව ලිංගික අපයෝජනයට ලක්කර ඇත.
අපයෝජනයට ලක්වූ බව කියන කාන්තාව කහතුඩුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව, ඇයව හෝමාගම රෝහලට ඇතුළත් කර අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන තිබේ. එහිදී මෙම කාන්තාව ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට අනාවරණය වීමෙන් පසු සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.