එළඹෙන දීපාවලි උත්සව සමය නිමිත්තෙන් හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් හැටන් පොලීසියේ රථවාහන අංශය විසින් විශේෂ රථවාහන සැලැස්මක් දියත් කර තිබේ.
හැටන් නගරයේ දැනට පවතින අවිධිමත් වාහන ගාල් කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි පීඩාවට පත්වීම සහ පාසල් වේලාවන් තුළ රිය අනතුරු සිදුවීමේ අවදානම වැඩිවීම මෙම නව සැලැස්ම දියත් කිරීමට හේතු වූ බව හැටන් පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් පැවසීය.
ඒ අනුව, හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන් වැඩිපුර ගැවසෙන ස්ථානවල වාහන ගාල් කිරීම හෝ නතර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
අවශ්‍ය උපදෙස් ඇතුළත් දැනුවත් කිරීමේ පුවරු හැටන් නගරයේ ස්ථාන කිහිපයකම පොලීසිය විසින් ස්ථාපිත කර ඇති අයුරු දක්නට ලැබුණි. මෙම සැලැස්ම මඟින් උත්සව සමයේදී නගරයේ රථවාහන තදබදය කළමනාකරණය කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.