
සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තැබීමේ නියෝගවලින් ඉවත් කර, වෙනත් බන්ධනාගාරයකට යොමු කිරීමටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා තැබීමට පහසුකම් සැලසීමටත් අදාළව රුපියල් ලක්ෂ 1200 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ සහ හොරණ සමගි ජන බලවේගය (සජබ) ආසන සංවිධායක චරිත් අබේසිංහ යන මහත්වරුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දැවැන්ත අල්ලස් ජාවාරම සම්බන්ධයෙන් ලැබුණු රහසිගත තොරතුරක් මත දීර්ඝ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
රඳවා තැබීමේ නියෝග යටතේ දැඩි ආරක්ෂාවක් මැද පසුවන ‘හරක් කටා’ නමැති සැකකරුට, සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා තැබීමට අවශ්‍ය කටයුතු සූදානම් කරදීම සඳහා මෙම මුදල් ගනුදෙනුව සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අල්ලස් කොමිසම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
