පියාගේ සිරුරේ ටැටූ නිර්මාණයක් කිරීම සඳහා නිවසට පැමිණි ටැටූ ශිල්පියෙකු වයස අවුරුදු 14ක දියණියක් රැගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ .
බේරුවල බණ්ඩරවත්තේ පදිංචි දියණියගේ පියා විසින් කරන ලද පැමිණිල්ල අනුව අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇත . මේ වනවිට දැරියගේ මව විදේශගතව සිටින බවත් දියණිය පියා සමග වාසය කරන බවත් පොලීසිය ප්‍රකාශ කරයි .
පෙරේදා (02 වැනිදා) ඥාති මිත්තනියකට දුරකථන ඇමතුමක් ලබා දී අතුරුදහන්ව සිටි දියණිය , තමාව රැගෙන ඒම සඳහා මොරටුවට පැමිණෙන ලෙස පවසා ඇත . ඒ අනුව මොරටුව වෙත ගොස් දියණිය කැටුව ආ මිත්තනිය ඇය පොලිසියට ඉදිරිපත් කර තිබේ . පොලිසිය කළ ප්‍රශ්නකිරීම්වලදී දැරිය පවසා ඇත්තේ මොරටුව ,උස්වත්ත ප්‍රදේශයේ පිහිටි ටැටූ ශිල්පියාගේ නිවසේ තමා සිටි බවයි .
ඇය මේ වනවිට විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත්කර තිබේ . බේරුවල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයන්ත වටගෙදර ගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි .